13/07/2026
දින 31කින් තරග 100ක් අවසානයේ ලොව සුපිරිම කණ්ඩායම් හතර
කණ්ඩායම් 48ක සහභාගීත්වයෙන් ඇමරිකාව, කැනඩාව සහ මෙක්සිකෝවේදී පැවැත්වෙන 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය දැන් එහි ඉතාම උද්වේගකර අවසානයකට ළඟා වෙමින් පවතිනවා. පසුගිය ජූනි 11 වැනිදා සිට ජූලි 11 වැනිදා දක්වා පුරා දින 31ක් තිස්සේ පැවැත්වුණු මූලික වටයේ තරග 72ක්, වට 32ක තරග 16ක්, වට 16ක තරග 8ක් සහ අර්ධ අවසන් පූර්ව වටයේ තරග 4ක් ඇතුළුව සමස්ත තරග 100ක්ම දැන් ක්‍රීඩා කර අවසන්. මේ දැවැන්ත තරග මාලාවෙන් පසුව ලෝකයේ සුපිරිම කණ්ඩායම් හතර වන ප්‍රංශය, ස්පාඤ්ඤය, එංගලන්තය සහ ආර්ජන්ටිනාව මෙවර අවසන් පූර්ව වටයට (Semifinals) තේරී පත් වුණා.
අර්ධ අවසන් පූර්ව වටයේදී ප්‍රංශය විසින් මොරොක්කෝව 2-0ක් ලෙසත්, ස්පාඤ්ඤය බෙල්ජියම 2-1ක් ලෙසත් පරාජය කරමින් ඉදිරියට ආවා. එමෙන්ම එංගලන්තය විසින් නෝර්වේ පිල 2-1ක් ලෙස සහ ආර්ජන්ටිනාව ස්විට්සර්ලන්තය 3-1ක් ලෙස පරාජය කරමිනුයි මේ අවස්ථාව උදාකරගත්තේ. දැන් මේ ලෝක ශූරයන් හතරදෙනා මහා අවසන් තරගයේ දොරටු අසලට පැමිණ සිටිනවා. ප්‍රංශයේ කිලියන් එම්බාපේ සහ ස්පාඤ්ඤයේ ලමීන් යමාල් අතර දක්ෂතා මෙන්ම, එංගලන්තයේ ශාරීරික ශක්තිය හා ආර්ජන්ටිනාවේ වේගවත් ප්‍රතිප්‍රහාරක රටාව ඉදිරි තරගවලදී අපට බලාගන්න පුළුවන්.
ශ්‍රී ලංකාවේ සිටින අපේ පාපන්දු රසිකයන්ට මේ සුපිරි තරග දෙක සජීවීව නරඹන්න වෙන්නේ ලංකාවේ වේලාවෙන් මධ්‍යම රාත්‍රියෙන් පසුවයි. පළමු අවසන් පූර්ව තරගය ප්‍රංශය සහ ස්පාඤ්ඤය අතර ජූලි 15 බදාදා අලුයම 12:30 ට ටෙක්සාස්හි AT&T ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. දෙවැනි තරගය එංගලන්තය සහ ආර්ජන්ටිනාව අතර ජූලි 16 බ්‍රහස්පතින්දා අලුයම 12:30 ට ඇට්ලන්ටාහි මර්සිඩීස්-බෙන්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. ජූලි 19 වැනිදා මෙට්ලයිෆ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මහා අවසන් තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම් දෙක කවුද කියා දැනගන්න මුළු ලෝකයම බලා සිටිනවා.